Feeds RSS

Monday, April 1, 2019

බීර වීදුරුවක් සිනාසෙයි රන්පාට බුබුළු බිඳ බිඳ !!!

රන් පැහැති ආලෝක සැඳෑවක
බිඳෙන් බිඳ මතුපිටට විත් බිඳී යයි
සීතල බීර බුබුළු
තබා දිගු දෙපා කෙටි මේසය මත
ඇලවෙමි තවත් වේවැල් පුටු ඇන්දට
අද රෑ දොළහෙන් පස්සෙ හතලිහයි ඔයාට
දුරකතන දිගේ ගල ගලා විත් රිදවයි ඒ හඬ
මේ ගෙවෙන්නේ ඔහු කිව් අවසාන තිස් ගනන් වල සැඳෑව
උස් නවාතැන්පලට පහළින්
බිඳී විසිරී යයි සුදුපාට පෙණ පිඬු මුහුදක
බීර බඳුනක මෙන්ම
අකීකරු මුහුදු සුළඟ
ලෙහා දමයි වරලස
රැළි රටාවට - ගෙල කිති කැවෙන ලෙස
හදිසියේ නැගිට ගොස් නරඹමි
කැඩපතේ පිළිරුව දෙස
ඇස් ඇර ඉනට අත් දෙක තබාගෙන
නලවා නිතඹ පිරික්සමි
ඇතිදැයි තවම තිස් ගනන් වල ශේෂ
ඉන්පසු එබී කැඩපතට
හඬ නගා අසමි
නාකියිද මම එයා කියන තරමට
බීර වීදුරුව
කිසිවක්ම නොකියා සිනාසෙයි
රන්පාට බුබුළු බිඳ බිඳ.... !!!


0 comments:

Post a Comment